Monday, January 26, 2015

ග්‍රාමීය අධ්‍යාපනයේ හෙට දවස...

          "කොළඹට කිරි ගමට කැකිරි.." යන උපමාව අප ව්‍යවහාරයට එක් වී අැත්තේ මෑත අතීතයේ දී ය.පසුගිය දශක කිහිපය පුරාවට විවිධ ආණ්ඩු රට පාලනය කල ද ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා මෙය අප ජන විඥාණය තුළට කිඳා බැස ඇතැයි අපට අනුමාන කළ හැක. කොළඹ නගරය හා තදාසන්න පෙදෙස්වල සංවර්ධනය සහ ග්‍රාමීය පෙදෙස්වල සංවර්ධනය අහසට පොලොව මෙන් අන්ත දෙකක් ගෙන ඇත. ප්‍රවාහන දුෂ්කරතා, ජලය ලබා ගැනීමේ දුෂ්කරතා, වන අලි තර්ජන, ස්වභාවික විපත් වලින් නිරන්තර පීඩනයට ලක්වීම, සනීපාරක්ෂක පහසුකම් අවම වීම සහ අධ්‍යාපන පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී කාරණා රාශියක් මෙහිලා දැක්විය හැක.

නිසි අධ්‍යාපනයක් මඟින් දරුව‍න්ගේ අනාගතය සුරක්ෂිත කළ හැක...
මූලාශ්‍රය - http://2.bp.blogspot.com/-ZhRTsmju-CU/UR-Xab49P6I/
AAAAAAAAIns/juIEtUaUX3k/s1600/2013-02-11+12.14.51.jpg

       ඉහත කරුණු අතරින් වඩාත් සංවේදී කාරණයක් ලෙස ග්‍රාමීය අධ්‍යාපනය ගෙන හැර දැක්විය හැක. දීර්ඝ කාලයක් මුළුල්ලේ නිසි සැලැස්මක් නොමැතිකම නිසා ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන මට්ටම පහළ බසිමින් පවතී. සාක්ෂරතාව ආදී නිර්ණායක අතරින් රටක් ලෙස ඉදිරියෙන් සිටිය ද තවමත් ග්‍රාමීය පෙදෙස් ආශ්‍රිත අධ්‍යාපන රටාව පවතිනුයේ නගරයට සාපේක්ෂව ඉතාමත් පසුගාමී තත්ත්වයක බව මගේ හැඟීමයි. එමෙන්ම දැන් ඇතිවී තිබෙන්නේ ග්‍රාමීය පාසැල් පද්ධතිය ක්‍රමයෙන් අභාවයට යෑමේ පෙරමග සලකුණු ය. අද වන විට සංවර්ධනය නාගරික පෙදෙස්වලට සීමා වීම තුළ පාසැල් පද්ධතිය ද ක්‍රමයෙන් න‍ගරය කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වන ආකාරයක් දැකිය හැක. විශේෂයෙන්ම ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහන් වල මූලික ඉලක්කයක් වන්නේ මෙම නාගරික හා අර්ධ නාගරික පාසැල් කොටසක් පමණය. මෙය තුළ සිදුවන්නේ ක්‍රමයෙන් ග්‍රාමීය පාසැල් ආශ්‍රිතව අධ්‍යාපනය ලබන දරුවන් ක්‍රමයෙන් නාගරික පාසැල් කරා ඇදී යාම ය. ඉන් පසුව ප්‍රමාණවත් සිසුන් නොමැතිකම හේතුවෙන් ක්‍රමයෙන් එම පාසැල් වසා දමන තත්ත්වයට පත් වේ. උසස් පෙළ ගණිත හා විද්‍යා විෂයයන් බොහෝ දුරට ග්‍රාමීය පෙදෙස් ආශ්‍රිත පාසැල් හි ඉගැන්වෙන්නේ නැත. කලා සහ වාණිජ විෂයයන් පමණක් මෙම පාසැල් තුළ බොහෝවිට ඉගැන්වෙන නමුත් මේ වන විට වාණිජ විෂය ධාරාව ද ක්‍රමයෙන් ඉවත් වෙමින් පවතී. එමෙන්ම කලා අංශයේද ප්‍රධාන විෂයයන් තුනක් පමණක් ඉගැන්වෙන අතර ඊට අදාල සමහර විෂයයන් නොමැතිකම නිසා සිසුන්ට න‍ගරබද පාසැල් වලට යාමට සිදුවීම ද කැපී පෙනේ.
          මේ අනුව තව වසර කීපයක් ගතවනවිට ග්‍රාමීය පාසැල් වල උසස් පෙළ විෂය ධාරාවන් සහමුලින්ම අහෝසි කර දැමීමට රජය‍ට තීරණයක් ගැනීමට සිදුවනු ඇත. ‍එයට හේතුව ප්‍රමාණවත් සිසුන් පිරිසක් සහ අදාල පහසුකම් නොමැතිව තවදුරටත් එම බරපැන දැරීමට රජයට අවශ්‍ය නොවීමය. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වීමේ සිටම සිසුන් ක්‍රම ක්‍රමයෙන් ග්‍රාමීය පාසැල් වලින් ඉවත් කරගෙන නාගරික පාසැලකට ඇතුළත් කර ගැනීමේ ප්‍රවණතාවයක් මේ වන විට ග්‍රාමීය පාසැල් ආශ්‍රිතව පවතී. මෙමඟින් සිදුවන්නේ සාමාන්‍ය පෙළ පන්තියට පැමිණෙන විට ළමුන් බො‍හෝ ප්‍රමාණයක් ගමේ පාසැල හැර ගොස් තිබීමය. එම නිසා ඊළඟට රජයේ අවධානය යොමුවන්නේ පාසැල් වල ද්විතීයික මට්ටම ද අහෝසි කර ග්‍රාමීය පාසැල් ප්‍රාථමික පාසැල් බවට පත් කිරීමේ ක්‍රියා පටිපාටියකටය. මෙය නුදුරු අනාගතයේ දී අපට අත් දැකීමට සිදුවනු ඇත. මෙම ක්‍රියාපිළ‍ිවෙළට සහයෝගය ලබා දෙන මනා සැකැස්ම වන්නේ නගරය ආශ්‍රිතව ගොඩ නැගී ඇති ටියුෂන් සංස්කෘතියයි. එම නිසා අද වන විට ශිෂ්‍යයාට නාගරිකව අධ්‍යාපනය ලැබීමකින් තොරව තමාගේ අනාගතය ගොඩනගාගත නොහැකි මානසිකත්වයකට මුහුණදීමට සිදුවී ඇත.
          මෙම ක්‍රියාවලියේ වරදක් නැතැයි කෙනෙක්ට තර්කයක් ඉදිරිපත් විය හැක. නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පාසැල් පද්ධතියක් හොඳින් ගොඩනගා ග්‍රාමීය ළමුන් වැඩි ප්‍රමාණයකට එයට ඇතුළත් වීමට හැකියාව මෙමඟින් ගොඩනැගෙනු ඇතැයි කෙනෙකුට අනුමාන කළ හැක. එය යම් තරමකට සාධාරණත්වයක් ඇති මතයකි. නමුත් මෙහිදී අප සිතිය යුත්තේ සමස්ත සිසු පරපුර පිළිබඳවය. එනම් අදටත් ග්‍රාමීය පෙදෙස් ආශ්‍රිත කුඩා පැසැල්වල ඉතිරිවී ඇත්තේ බොහෝ දුරට අඩු අාදායම්ලාභී නගරයේ පාසැලකට තම දරුවාව ඇතුළත් කර ගැනීමට තරම් ආර්ථික වත්පොහොසත් කමක් නොමැති දෙමාපියන්ගේ දරුවන්ය. මෙම තත්ත්වය තුළ වඩාත් තැළෙන්නේ ඔවුන්ය. එම දරුවන් ද කරන්නන් වාලේ අධ්‍යාපනයක නියැළී සිට අවසානයේ කිසිඳු ප්‍රතිඵලයක් ලබ‍ා නොගෙන සමාජය තුළ අතරමං වී යනු ඇත. එමෙන්ම තම දරුවාව අමාරුවෙන් හෝ නගරයේ පාසැලකට ඇතුළත් කර ගෙන ටියුෂන් වලටද විශාල වියදම් දරමින් ජීවිතයත් සමඟ අනවශ්‍ය තරඟයක නියැළෙමින් අසරණ ලෙස ජීවත්වන මිනිසුන් ‍ඕනෑතරම් අපට හමුවනු ඇත.

සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සියලුම පුරවැසියනට හිමිවිය යුතුය...
මූලාශ්‍ර - http://www.thehindu.com/multimedia/dynamic/00877/25bgRCDKRHI-W094_GK_877496e.jpg , http://1.bp.blogspot.com/uGim4GxLvYk/U9X7I4JsqII/AAAAAAAABc/isfnkpu03p8/s1600/
Arcade+Independence+Square+%25281%2529.png



          මේ තත්ත්වය මත ගොඩනැගෙන්නේ සමාජ ආර්ථික විෂම චක්‍රයකි. මෙමගින් අප ක්‍රමයෙන් යොමුවන්නේ අසහනකාරී ජීවන රටාවකටය. ග්‍රාමීය ජනතාවට නොයෙක් සහන පැකේජ අරන් එන අප රටේ වගකිවයුතු දේශපාලකයන් මෙම තත්ත්වයන් අධ්‍යයනය කොට පැහැදිලි සැලසුම් සකස් කර ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කළ යුතු ය. අධ්‍යාපන තත්ත්වය නැංවීම මෙම ආර්ථික වැඩපිළ‍ිවෙලේ ප්‍රධාන අංගයක් විය යුතු ය. ග්‍රාමීය පාසැල් විධිමත් නියාමනයකට ලක් කිරීම, එම පාසැල්වල විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම, සුදුසුකම් ඇති දක්ෂ ගුරුවරුන් සහ පරිපාලක නිළධාරීන් අදාළ තනතුරු සඳහා පත්කර ඔවුනට නිසි පහසුකම් සැලසීමට වග බලා ගැනීම ආදිය මේ යටත‍ේ රජයකට කළ හැක. එමෙන්ම මෙම කර්තව්‍යය රජයකට පවරා නිහඬව බලා සිටීම නොව මෙම ක්‍රියාවලිය සඳහා තමන්ට හැකි පමණ දායක වීමට රටේ ජනතාවට, ප්‍රධාන වශයෙන් තරුණ පරපුරට වගකීමක් ඇත. ‍විශේෂයෙන් ම ඔබ ජීවත් වන ප්‍රදේශය තුළ එවැනි සංවර්ධනය විය යුතු මට්ටමේ පාසැල් ඇත්නම් එම පාසැල් පිළිබඳව අවධානය යොමුකර එම පාසැල් සංවර්ධනය සඳහා ඔබගේ ශ්‍රමය, කාලය සහ දැනුම යම් ප්‍රමාණයකට කැපකිරීමට ඔබට හැකිනම් එය අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන මහඟු ආයෝජනයක් වන්නේ ය.

2 comments:

  1. හිමාල් නියම රචනාවක්........ ඔබ මතු කරන්නා වූ තර්කයන් ඉතා වැදගත්.... අධ්‍යාපනය සහ රටේ අනාගතය ගැලවිය නොහැකි තරම් බද්ධ වූ දෙයක්........... අපි මේ ගැන දනවන අවධානය පැහැදිලිව ම වැඩි විය යුතුයි.............

    ReplyDelete
    Replies
    1. මේක මම ප්‍රායෝගිකවම අත්දකින දෙයක් කුරුටු... අපේ ගම අවටම පාසල් දෙකක් දැනට වැහිල තියෙනවා.. අපේ ‍ගමේ පාසලෙත් දැන් ටිකෙන් ටික ළමයි අඩු වෙනවා.. ඒ නිසා ගමේ පාසල ආපහු හොඳ තත්ත්වෙකට ගේන්න අපි එකතු වෙලා පොඩි වැඩසටහනක් හැදුව.. ඉස්සරහට ඒ ගැනත් කතා කරමු..

      Delete

Blogger Widget