Friday, August 4, 2023

වත්මන් අධ්‍යාපනයේ ඉදිරි ගමන....???

😡 මේ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය ළමයිව පන්ති කාමරය ඇතුලට හිර කරලා බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත් කරලා ආතතියෙන් පිරිච්ච පිරිසක් බවට පත් කරනවා.

👉 ඒ නිසා ළමයි තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදී ම පාසලෙන් ඉවත් වෙන්න තමයි බලන්නේ. 12, 13 උගන්වන ගුරුවරු මේ දේ හොඳින් අත්විඳිනවා.

👉 පහුගිය ටිකේ රටේ කතිකාවතක් ඇති වුණා වර්ෂයේ පලමු වාර විභාගයට ලොකු බරක් දෙන්න එපා කියලා. ඒත් ඉස්කෝල කීයෙන් කීයද එහෙම කටයුතු කරන්නේ...

👉 තමන්ට මෙවර පළවෙනිය වෙන්න ලකුණු කීපයක් අඩුවුණ නිසා ලබන වාරේ තමන් කරන ක්‍රීඩාව නවත්වලා කොහොමහරි පළවෙනිය වෙන්න ඕන කියලා දරුවෙක් කියූ බව මට අහන්න ලැබුණේ දින කීපයකට කලින්...

👉 අපි නඩත්තු කරන මේ ක්‍රමයේ අසාර්ථක බව පෙන්වන්න මේ වගේ උදාහරණ ඕන තරම්...

👉 අධ්‍යාපන පද්ධතියේ අයත් අධ්‍යාපනය පිළිබඳ දාර්ශනික මත ෂෙයා කරාට වැඩක් නෑ, තමන්ට ලැබෙන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කලේ නැත්නම්..

image source: destinationsforteens.com

Sunday, August 7, 2016

අපෙන් ඈත් වී යන සොඳුරු රසවින්දනය - ජන කවි..

ඈත අතීතයේ සිටම ලාංකීය ජන සමාජය තුළ ජන කවියට හිමිව තිබුනේ ප්‍රධාන තැනක්.. අපේ මුතුන් මිත්තන් තමාගේ ජීවිතයේ සෑම සියලු කටයුත්තකටම ජන කවි යොදාගෙන ඇති ආකාරය සමාජ ඉතිහාස‍ය පිරික්සා බැලීමේ දී තහවුරු වනවා... 
හේනේ පැලේ, ගැලේ, ඔරු පාරුවේ , පතලේ පමණක් නොව ජන ක්‍රීඩා ‍හා සංස්කෘතික උත්සව ආදියේ දී ද මෙම ජන කවි මඟින් අපේ ගැමි සමාජය රසවින්දනයක් ලැබුවා.. ජන කවියට නිශ්චිත නිර්මාණකරුවන් නොමැති අතර එය සමාජ භාවිතාව තුළින්ම ජන විඥාණය තුළ පැලපදියම් වී නිර්මාණයන් බවට පත්වී තිබෙනවා. තමාගේ ජීවිතයේ ඒකාකාරීබව, තනිකම මකා ගැනීමට ද දුක සතුට ආදී හැඟීම් ප්‍රකාශනයට ද, තමාගේ ජීවිතයේ අත්දැකීම් සමාජය හමුවේ බෙදා හදා ගැනීමට ද මෙම ජන කවි ගායනා කොට ඇති බවට නිදසුන් ඕනෑ තරම් දකින්නට ලැබෙනවා.. 
මෙම ජන කවි හුදෙක් රසවින්දනයට පමණක් සීමා නොවී සමාජයේ මිනිසුන් හට යම් යම් උපදෙස් ද ඉතා අපූරුවට දෙනු ලබනවා... වර්ථමාන සමාජය තුළ ජන කවි භාවිතා කරන අවස්ථාවක් දක්නට ලැබනේනේ නැති තරම් වුවත් ෆේස් බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා තමාගේ හිතේ පවතින හැඟීම්, නිර්මාණයන් ලෙස ඉදිරිපත් කිරීම දක්නට ලැබෙනවා.. මෙය අතීත‍යේ ජන කවියෙන් අැරඹි, අපේ හැඟීම් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමේ කලාව නූතනකරණය වීමක් දැයි සොයාබැලීම වටිනවා...

Saturday, August 6, 2016

සරණාගතයින් වෙනුවෙන් අපි නැගී සිටිමු

(2016 ජුනි 20 - අන්තර්ජාතික සරණාගත දිනය වෙනුවෙන් ලියන ලද්දකි...)

යුධමය තත්ත්වයන් සහ වද හිංසා කිරීම්වලට ගොදුරුව ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා වැඩියෙන් ලොව පුරා පුද්ගලයින් පසුගිය වසරක කාලය තුළ සරණාගතයින් බවට පත්ව ඇති බව, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙනවා. 
එම වාර්ථාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2015 වර්ෂයේ සෑම මිනිත්තුවකටම ‍පුද්ගලියින් 24 දෙනෙක් අවතැන්භාවයට පත්වී ඇති බවයි. එය දැනට දශකයකට පෙර මිනිත්තුවකට 6 දෙනෙක් වැනි අඩු අගයක තිබුණු තත්ත්වයක්. මේ අනුව ගත් කල 2015 වර්ශය අවසානයේ දී ලොව පුරා සරණාගතභාවයට පත්ව ඇති ජනගහණය මිලියන 65.3 ක්.!! 
එය 2014 වර්ෂයට වඩා මිලියන 5.8ක වැඩිවීමක්. එමෙන්ම එය මෙතෙක් වර්ෂයක කාලය තුළදී සරණාගතයින් මිලියන 60 සීමාව ඉක්මවූ ප්‍රථම වතාව ලෙසද සටහන් වෙනවා... මෙයට වැඩිපුරම බලපා ඇත්තේ සිරියාවේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය වන අතර ඇෆ්ගනිස්ථානය සහ සෝමාලියාව වැනි රටවල තත්ත්වය ද මේ කෙරෙහි බලපා ඇති බව අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරනවා.. ලොවපුරා සරණාගතභාවය පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට බඳුන්වී ඇති මෙම වර්ෂයේ අන්තර්ජාතික සරණාගත දිනයේ තේමාව වන්නේ "සරණාගතයින් වෙනුවෙන් අපි නැගී සිටිමු" යන්නය...  



----------------------------------------------------------------------
අන්තර්ජාතික පුවත් සේවා ඇසුරිනි...

Friday, August 5, 2016

නව යෞවනියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජනය කරමු...

(ජුලි මස 11 වැනි දිනට යෙදුනු ලෝක ජනගහණ දිනය නිමිත්තෙනි) 

වර්ෂ 1989 දී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ලබා දුන් නිර්දේශයක් අනුව සෑම වර්ෂයකම ජූලි මස 11 වැනි දින ලෝක ජනගහණ දිනය ලෙස නම් කිරීමට තීරණය කරන ලදී.. 
මෙම දිනයේ දී ජනගහණය හා සබැඳි ගැටළු පිළිබඳව ලෝක අවධානය ලබා ගැනීම පිණිස ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.. මෙවර ලෝක ජනගහණ දිනයේ තේමාව වූයේ " Investing in teenage girls - නව යෞවනියන් වෙනුවෙන් ආයෝජනය කරමු" යන්නයි... එහි අර්ථය වන්නේ ලොව පුරා විසිරී ජීවත්වන නව යොවුන් වියේ පසුවන තරුණියන් මුහුණදෙන පොදු ගැටළු වෙනුවෙන් වැඩිපුර අවධානයක් යොමු කලයුතු බවත් ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කල යුතු බවත් ය....

ඡායාරූප මූලාශ්‍රය - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවිය

Thursday, July 14, 2016

පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රථම රණවිරුවා - හසලක වීර ගාමිණී

( ගාමිණී කුලරත්න රණවිරුවා දැයෙන් සමුගෙන අදට වසර 25 ක් සපිරේ. මේ එ් වෙනුවෙන් තබන සටහනකි...)

1991 වර්ෂයේ ජූලි මස 14 වැනි දා අලිමංක‍ඩ යුද හමුදා කඳවුර වෙතට කොටි ත්‍රස්තවාදීන් රැසක් ප්‍රහාර දෙමින් ඉදිරියට පැමිණියේ කොටින් විසින් තහඩු ගසා තුවක්කු සවි කර ඇතුළත පුපුරණ යොදා විශේෂයෙන් සාදන ලද බුල්ඩෝසරයක් පෙරටු කරගනිමිනි.. ඒ අලිමංකඩ කඳවුර සහමුලින්ම විනාශ කර දැමීමේ අරමුණ ඇතිවය.. යුද හමුදා ආර්.පී.ජී අවි ප්‍රහාර හමුවේ පවා නොසැලී එම බුල්ඩෝසරය ඉදිරියට පැමි‍ණි අතර මේ වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බලකායේ සේවය කළ සෙබළ ගාමිණී සිටියේ අලිමංක‍ඩ කඳවුරේ ප්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයක ය... තව මොහොතකින් තම කඳවුර‍ට සහ 1500ක් පමණ වූ සහෝදර සෙබළ මුලට අත්වන්නට යන ඉරණම වටහාගත් ‍වීර ගාමිණී ඉදිරි‍යට පැමිණෙන බුල්ඩෝසරය වෙතට දිවගියේ අනෙක් සහෝදර නිළධාරීන් එපා යැයි කෑ ගසත්දී ය.. නමුත් රට දැය වෙනුවෙන් වූ යුතුකම මනාව වටහාගෙන සිටි සෙබළ ගාමිණී සතුරු වෙඩි පහර කා ගෙනම තම දෑත මත වූ බෝම්බ ද රැගෙන කෙසේ හෝ කොටි‍ බුල්ඩෝසරයේ ඉණිමඟ ද නැග එම බෝම්බ, ‍බුල්ඩෝසරය අැතුළට දමා ගැසීය.. මේ සමඟම කොටි සන්නද්ධ බුල්ඩෝසරය පුපුරා ගිය අතර ත්‍රස්තවාදීන්ගේ ආක්‍රමණය ද නැවතී කඳවුර රැකගැනීමට හැකි විය... ඒ සමඟින් ම ගාමිණී කුලරත්න විරුවා ද තම අවසන් හුස්ම පොද වා තලයට මුසු කලහ...
Blogger Widget