Saturday, December 20, 2014

මත්පැන් දුම්වැටි සහ මාධ්‍ය වගකීම...

      මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුවහොත් සිගරට් පැකැට්ටුවේ රූපමය අවවාද 80%ක් දක්වා වැඩිකරන බව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල දක්වා ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පත්වූ පසු ඔහු විසින් ද මතට තිත තබන බව ප්‍රකාශ කරනු ලැබීමට ඉඩ ඇත. මෙම කාරණා වලින් පැහැදිලි වන්නේ මත්පැන් දුම්වැටි යනු සමාජය වෙලාගත් උවදුරක් බවය. කුමන පුද්ගලයා රටේ ජනාධිපති වුවත් රටේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර මෙවැනි අහිතකර පුරුදු වලින් ඔවුන් ගලවා ගැනීමට එමෙන්ම එම අහිතකර දේ භාවිතය අධෛර්යමත් කිරීමට හැකි සෑම පියවරක්ම ගත යුතු ය. මේ සඳහා දේශපාලකයන් හා පක්ෂ මාරු වන විට වෙනස් නොවන ස්ථිර ප්‍රතිපත්තියක් රටේ ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම ද වැදගත්ය. මේ කාරණය වෙන කවරදාටත් වඩා අද වන විට අත්‍යාවශ්‍ය කාරණයක් වී ඇත. මන්ද යත්, තාක්ෂණයේ දියුණුවත් සහ පවුල් සංස්ථාව තුළ මවුපිය දූ දරු සබඳතාව අඩුවී යන ප්‍රවණතාවයත් නිසා වර්ථමාන සමාජයේ දරුවන් විෂමාචාරයන් ට යොමුවීමේ වැඩි ඉඩකඩක් පැවතීමයි. අපට අසන්නට දකින්නට ලැබෙන බොහෝ පවුල් ආරවුල්, රණ්ඩු සරුවල් ආදියට ප්‍රධාන හේතුව මත්පැනයි. එම ආරවුල් මිනී මැරුම් වලින් කෙළවර වූ අවස්ථා ද දුලබ නොවේ. එමෙන්ම නිවසේ ස්වාමි පුරුෂයා මත්පැනට ඇබ්බැහිවීම නිසා කඩා ඉහිරුණු පවුල් පිළිබඳව ද අප අසා දැක ඇත. බීමත් රියදුරන් විසින් සිදුකරන ලද රිය අනතුරු වලින් අහිමි කල වටිනා මිනිස් ජීවිත ප්‍රමාණය අති විශාල ය. දුම්වැටි නිසා ද රෝගී වන පිරිස ගැන අමුතුවෙන් ඔබට මතක් කිරීම නිෂ්ඵල දෙයක් බව මට හැඟෙන අතර මත්පැන් සහ දුම්වැටි වලින් රටේ ජනතාව, විශේෂයෙන් ම තරුණ හා ළමා පරපුර ගලවා ගත යුතු බව මුලු රටම පිලිගත් කාරණයකි. එබැවින් ඒ පිළිබඳව තවත් කරුණු දැක්වීම අනවශ්‍ය අතර වැදගත් වන්නේ මෙම උවදුරෙන් මිදෙන්නේ කෙසේ ද යන්න ය.
රූපමය අවවාද ඇතුළත් කල පමණින් ප්‍රශ්ණය විසඳේ ද? .....
මූලාශ්‍රය - http://www.lankapuvath.lk/sinhala/images/stories/
aimages/Awawadaya.jpg
       
          මෙහිදී මතුවන ප්‍රශ්ණය නම් රටම වෙලාගත් මෙම උවදුර මැඩපැවැත්වීමට සමාජයක් විදිහට අප සූදානම් ද යන්නය. රූපමය අවවාද යෙදීමෙන් පමණක් අපට සැනසීමට හැකිද? දුම්වැටියට මෙන් මත්පැන අධෛර්යමත් කිරීමට ගතයුත්තේ කුමන ක්‍රියාමාර්ග ද? මත් පැන් දුම්වැටි වලට අසීමිත ලෙස ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමට ගම් මට්ටමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවන්නේ ඇයි? මෙවැනි ප්‍රශ්ණ වලට පිළිතුරු අප විසින් සොයා ගත යුතුව ඇත.
          මාගේ අවංක අදහසට අනුව නම් මාධ්‍ය සතුව මේ සම්බන්ධයෙන් සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇති නමුත් ඔවුන් එය නිසිලෙස ඉටු නොකරන බව ය. විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍යයන් මඟින් විකාශනය කරන බොහෝ චිත්‍රපට තුළින් මත්පැන් දුම්වැටි භාවිතය වීරකමක් මෙන් සමාජගත වීමේ ප්‍රවණතාවයක් තිබේ. එම දර්ශන ඇතුලත් කොටසක් විකාශනය වන විට රූපමය අවවාදයක් සමඟ "මධ්‍යසාර දුම්වැටි දර්ශන දැකීමෙන් ඔබේ දරුවා ඊට යොමුවිය හැක" යනුවෙන් සටහනක් දිස්වේ. හුදෙක් මෙවැනි සටහනක් මඟින් දරුවන් ඊට යොමුවීම නවතාලිය හැකි ද? මේ පිළිබඳව අප එතරම් අවධානයක් නොදක්වන නමුත් අප රටේ ළමා පරපුර වැරදි ක්‍රියාවන් වලට යොමුවීමට රූපවාහිනිය හෝ පරිඝනකය මඟින් නරඹන මෙවැනි දර්ශන ප්‍රධාන හේතුවක් බව මාගේ පිළිගැනීමයි. නමුත් මෙම ලිපියේ මම සඳහන් කරනු ලබන්නේ රූපවාහිනිය පිළිබඳ පමණක් වන අතර මෙවැනි යොමුකිරීම් වලින් යම්තාක් දුරට හෝ අප ළමා පරපුර ගලවා ගැනීමට කළ යුත්තේ කුමක් දැයි මට සිතුන ආකාරයට පහත පෙළගස්වා ඇත.

දරුවන් නිතැතින්ම වැඩිහිටියන් අනුකරණයට පෙළඹෙති..
මූලාශ්‍රය - http://www1.f1online.de/premid/001577000/1577709.jpg

1. මධ්‍යසාර හා දුම්වැටි භාවිතය ඇති චිත්‍රපට ආදිය නැරඹීමට දරුවන් ට ඉඩ ලබා නොදීම
          ප්‍රායෝගිකව හොඳම විසඳුම ලෙස මට හැඟෙන්නේ මෙය යි. කොතරම් ලස්සන වැඩසටහනක් වුවත් එමගින් මධ්‍යසාර භාවිතය උලුප්පා පෙන්වන්නේ නම් එම වැඩසටහන් නැරඹීම පවතින්නේ දරුවන්ට අවැඩ පිණිසමය. නමුත් මම පෙර ලිපිය මඟින් ද පෙන්වා දුන් පරිදි අද සමාජය තුළ දෙමාපියන් ගේ කාර්යබහුලත්වය නිසා දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට කාලයක් ඇත් දැයි සැක සහිත අතර ඔවුන් රූපවාහිනයේ නරඹනු ලබන වැඩසටහන් පිළිබඳ අවබෝධයක් දෙමාපියන්ට නොමැති විය හැක. විශේෂයෙන්ම දහවල් පාසැල නිමවී නිවසට පැමිණීමෙන් පසු දරුවන් රූපවාහිනිය ඉදිරියට වී දකුණු ඉන්දියානු චිත්‍රපට පෙළහර නැරඹීමෙන් නම් අනිවාර්යයෙන්ම වැළැක්විය යුතු ය.

2. දරුවන් සමඟ වැඩසටහනක් නරඹන අතරතුර එවැනි දර්ශන විකාශනය වුවහොත් එය වැරදි ක්‍රියාවක් බව දරුවන්ට වටහා දීම
          මෙය ප්‍රායෝගිකව එතරම් ප්‍රතිඵල දායක නැත. මක්නිසාද යත්, චිත්‍රපටයක් ගෙන බැලුවහොත් එහි ප්‍රධාන චරිතය චිත්‍රපටය පුරාම වීරත්වයක් ප්‍රදර්ශනය කර ඉන්පසු ඔහු දුම්වැටියක් පානය කරන විට එයත් වීරත්වයේ අංගයක් ලෙස උකහා ගැනීමට ළමයින්ගේ පමණක් නොව තරුණයන්ගේ මනස පවා පෙළඹෙන බැවිනි. විශේෂයෙන්ම දකුණු ඉන්දියානු චිත්‍රපට නරඹන ඔබට මෙය පහසුවෙන්ම අත්දැකීමට හැකිවනු නොඅනුමානය. මෙවැනි අවස්ථාවලදී වැඩිහිටියන් දෙන අවවාදයකට වඩා රූපවාහිනියේ දකින දේ හිතට ග්‍රහණය කර ගැනීමට දරුවන් පෙළඹෙයි.

3. මධ්‍යසාර දර්ශනයක් විකාශනය වනවිට දිස්වන අවවාදය මධ්‍යසාර භාවිතය අධෛර්යමත් කරන ආකාරයේ එකක් වීම
          මෙම වගකීම මාධ්‍ය ආයතනය සතු එකක් වන අතර දැනට දිස්වන අවවාදය ඉහත මම සඳහන් කර ඇත. එවැනි ප්‍රකාශයකින් මධ්‍යසාර දුම්වැටි භාවිතය අධෛර්යමත් කිරීමක් සිදු නොවන අතර දරුවන්ගේ සිත් තුළ මෙවැනි හැඟීමක් ජනිත කරවීමට ඉඩ ඇත. එනම් "මධ්‍යසාර හා දුම්වැටි භාවිතය ළමයින්ට නොගැලපෙයි. නමුත් වැඩිහිටියන් භාවිත කළාට එහි වරදක් නැත". මෙම අවවාදය මීට වඩා වෙනස්කර විකාශනය කළ නොහැකි ද? නිර්මාණශීලී ලෙස එවැනි වාක්‍යයක් භාවිතා කර මෙම දර්ශන නැරඹීමෙන් ඇතිවන පෙළඹවීම අඩුකල නොහැකි ද? එවැනි අවස්ථාවකට යෙදීමට උචිත වාක්‍යයක් නිර්මාණය කිරීමට ඔබ ද උත්සහ කර බලන්න.

3. මත්පැන් දුම්වැටි භාවිතය බහුලව අඩංගු වන චිත්‍රපට, ටෙලි නාට්‍යය ආදී වැඩසටහන් විකාශනය නොකිරීම
          මධ්‍යසාර දර්ශන කිසිවක් ඇතුලත් නොවන චිත්‍රපට නම් අද සොයාගැනීමට අපහසුය. එ් තරමට එය වර්ථමාන සමාජයම වෙළාගෙන ඇත. එමෙන්ම චිත්‍රපටයකින් නිරූපණය කරනු ලබන්නේ සමාජය පිළිබඳව නම් එවැනි දර්ශන ඇතුළත් කිරීමට නිර්මාණ කරුවාට ද බොහෝවිට සිදුවනු ඇත. නමුත් මෙහිදී සලකා බැලිය යුත්තේ එම දර්ශන මඟින් මධ්‍යසාර හා දුම්වැටි භාවිතය ධෛර්යමත් කරනවාද යන්නයි. "3 Idiots" වැනි අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටවල ද මධ්‍යසාර දර්ශන ඇතුළත් නමුත් එයින් නරඹන්නන්ට වන බලපෑම අවම බව මගේ හැඟීමයි. එවැනි සදාචාරාත්මක රාමුවක් තුළ සිට වැඩසටහන් විකාශනය කිරීම මාධ්‍ය ආයතන සතු ප්‍රධාන වගකීමකි.

          අවසාන වශයෙන් සටහන් කිරීමට ඇත්තේ තවමත් මෙවැනි කරුණු පිළිබඳව ප්‍රමාණවත් කතිකාවතක් රට තුළ නිර්මාණය වී නොමැති බව ය. දේශපාලන සාකච්ඡාවලට නම් රූපවාහිනී මාධ්‍ය තුළ විශාල ඉඩකඩක් වෙන් වී ඇති බව අප හොඳින් දන්නා කරුණකි. එහි වරදක් නැත. එවැනි වැඩසටහන් කාලීන වශයෙන් වැදගත් ඒවා බව සැලකිය හැක. නමුත් සදාචාරාත්මක වශයෙන් ඉතාම වැදගත් එමෙන්ම කාලීන අවශ්‍යතාවයක් හැටියටත් සැලකිය හැකි මෙවැනි සංවේදී කාරණා පිළිබඳ සංවාදයක් ගොඩනැංවීමට රූපවාහිනී මාධ්‍යයන් තුළ ඉඩක් වෙන් නොවන්නේ එමඟින් තමන්ගේම කෙරුවාවන් පිළිබඳ විවේචන එල්ලවීමට ඉඩ ඇති නිසාදෝ යැයි මට හැඟේ........

2 comments:

  1. හිමාල්.............................

    අගනා රචනාවක්...... අැත්තට අපි විමලා බැලිය යුතු කරුණු බොහොමයක් ඔබ විසින් මතු ෙකාට තිබෙනවා.... සමාජය විදිහට අපි සමස්ථය මෙයින් මුදවාගත යුතුයි. ඒකට 80ක් රූප දැම්මාය කියලා විතරක් ප්‍රමාණවත් නැහැ... හිමාල් ඡන්දය බලාගෙන මේ හැමෝම මේවා කිව්වාට කරන්න ගියාම තමයි වෙනස තේරෙන්නේ..... 80 පැත්තකින් තියන්නකෝ මතට තිතම තියනවා කියපු අාණ්ඩුවක සෞඛ්‍ය අැමතිටවත් ඒක කරගන්න බැරිවුණා කියන තැනම ප්‍රශ්ණය තියෙනවානේ................ මොකද අපි මැරිලා ඉපදිලායෑ...........

    ReplyDelete
    Replies
    1. දේශපාලකයෝ වෙනස් වුනා කියල හැමදේම හරියන්නේ නෑ. අනිත් එක තමයි ව්‍යවස්ථාව වෙනස් කරා කියලත් රටේ හැම ප්‍රශ්ණෙකටම විසඳුම් ලැබෙයි කියල හිතන්නත් අමාරුයි.. විශේෂයෙන්ම රටේ මිනිසුන්ගේ ආකල්ප පිරිහීම නැවැත්තුවේ නැත්නම් රට විනාශයට යන එක නවත්වන්න බැරිවෙයි...

      Delete

Blogger Widget