Friday, December 5, 2014

හොඳම දේ දරුවන්ට ..........ද??

          දරුවන් ගැන සමාජය තුල නිරන්තරයෙන් කතා බහට ලක්වේ. ඔවුන් ආරක්ෂා කරගත යුතු බවට පොදු මතයක් ද සමාජය තුළ පවතී. ඒ වෙනුවෙන් බිහි වී ඇති වෙනමම සංවිධාන ද රටේ පවතී. නමුත් මේ සියලු ම දේවල් මගින් කෙරෙන්නේ යම් කිසි අවස්ථාවන් හිදී හඩක් නැගීම පමණක් බව මගේ හැඟීමයි. තවමත් මේ රටේ දරුවන් වෙනුවෙන් ස්ථිර ප්‍රතිපත්තියක් හරියාකාරව සැකසී නොමැති වීම කණගාටුවට කරුණකි. රටේ වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළින් ද දරුවන් නිරන්තර තරඟකාරීත්වයකට යොමු කරන නිසා ඔවුන් නිරතුරුවම මානසිකව පීඩනයකට ලක්වේ. නමුත් එය ඔවුන් ට හඩගා කීමට තරම් අවබෝධයක් නොමැති නිසා මව්පියන් ද එය තේරුම් නොගනී. රටේ අනාගතය බාර ගැනීමට තරම් ප්‍රබුද්ධ භාවයකින් යුතු හොඳ රසවින්දන හැකියාවකින් යුතු දරුවන් මේ ක්‍රමය යටතේ බිහි වෙතැයි සීතිය නොහැක.

දරුවන්ගේ ලෝකය අහිංසක ය
Source : http://suturi.com/wp-content/uploads/2012/10/Planning-After-School-Activities-For-Your-Kids-1125x750.jpg
       
  විශ්වවිද්‍යාල වලට ඇතුලත් කරගන්නා නවක සිසුන් හට සමාජයේ අභියෝගවලට මුහුණදෙන ආකාරය පුහුණු කිරීමට වෙනමම නායකත්ව පුහුණු වැඩසටහන්වලට සහභාගී කරවීමට ද වර්ථමානය වන විට සිදුවී ඇත්තේ මෙම අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වල බව නිසාය. නමුත් මෙවැනි වැඩසටහන් වලින් නායකයන් බිහිවන්නේ නැත. ඒ පිළිබඳව වෙනම ම කතා කල යුතුය. මෙම ලිපිය ලිවීමට මට සිත් වූයේ වෙනත් කරුණක් නිසාය.
          මේ දිනවල සතියේ සෑම දිනකම දහවල් වරුවේ රූපවාහිනී නාලිකා කිහිපයකින්ම චිත්‍රපට විකාශනය කිරීමක් දක්නට ලැබේ. මෙයින් බොහොමයක් දමිළ චිත්‍රපට ය. එවැනි වූ චිත්‍රපට කිහිපයක් නැරඹූ මට හැඟී ගියේ එම චිත්‍රපට කිසිදු හරයක් නොමැති පළිගැනීම ම උලුප්පා දක්වන මනස අවුල් කරන ආකාරයේ එ්වා බවය. ලේ වැගිරීම්, මිනී මැරීම්, රාගය අවුස්සන සිද්ධීන් වලින් ගහණ එම චිත්‍රපට කිසිසේත් ම අප සමාජයට උචිත ඒවා නොවන බව මගේ අදහසයි. මෙහි භයානකම කරුණ වන්නේ එම චිත්‍රපට විකාශනය වන්නේ හරියටම කුඩා දරුවන් පාසැල ඇරී ගෙදර එන වෙලාවේ වීමයි. අප බොහෝ දෙනෙක් හුරුවී සිටින්නේ බත් පත බෙදාගත් පසු රූපවාහිනිය ඉදිරිපිට වාඩි වීමට ය. පාසැල ඇරී නිවෙසට පැමිණෙන දරුවන් ද තමාගේ දවල් බත්පත ද බෙදාගෙන රූපවාහිනිය ඉදිරිපි වාඩිවී එම චිත්‍රපට නරඹමින් ආහාර නොගනීවි යැයි කාට නම් පැවසිය හැකි ද? මෙය කිසිම ලෙසකින් නොසලකා හැර අහක බලා සිටීමට හැකි තත්ත්වයක් නොවේ. දකුණු ඉන්දියාව තුළ ජයලලිතා වැනි දූෂිත පාලකයින් හිර අඩස්සියට වැටුණු පසු ඒ වෙනුවෙන් වස බී මැරෙන්නට තරමටම අඥාන වූ රසිකයන් පිරිසක් වෙනුවෙන් බිහි කරන එවැනි චිත්‍රපට අප සමාජයට ගැලපේ යැයි කිසිවකුටත් කිව නොහැක. කුඩා දරුවන්ට පමණක් නොව අප සමාජයේ කා හට වුවත් එම චිත්‍රපට කිසිසේත් ම ගැලපෙන්නේ නැත. එම චිත්‍රපටවල සමහර දර්ශන වැඩිහිටියන්ට පමණක් ගැලපෙන මට්ටමේ ඒවා වුවත් කිසිදු කපා හැරීමකින් තොරව විකාශනය වනු දක්නට ලැබේ. 

මෙවැනි දර්ශන දැකීමෙන් නොමේරූ ළමා මනස ව්‍යාකූල වේ 














          මෙම චිත්‍රපට විකාශය වීම ටික කලකින් නවතීවි යැයි සිතුන ද එන්න එන්නම වැඩිවනවා මිසක් අඩුවන බවක් නම් නොපෙනේ. මෙම තත්ත්වය බලා ඉන්නට බැරිම තැන මේ වෙනුවෙන් මට පෞද්ගලිකව කල හැක්කේ කුමක් දැයි කල්පනා කල මම මේ කාරණය පැහැදිලි කරමින් ලිපියක් ලීවෙමි. දෙරණ නාලිකා ප්‍රධානී ආමන්ත්‍රණය කරමින් ලිපිය ලියූ නමුදු මට ඔහුගේ හෝ ඇයගේ ඊ මේල් ලිපිනයක් නොමැති වීමෙන් එම නාලිකාවට අදාල වෙබ් අඩවියේ තිබූ ඊ මේල් ලිපිනයකට එය ඊයේ දිනයේ දී යැව්වෙමි. එය කිසිවෙකුට හෝ ලැබුනාද වත් මම නොදනිමි. නමුත් මේ සිදුවන දේවල් දෙස ඇස කන පියාගෙන බලා සිටිනවාට වඩා එය වැළැක්වීමට කිසියම් හෝ උත්සහයක් ගැනීම නිසා ඊළඟ පරම්පරාව විසින් අපට එල්ල කරන ශාපයෙන් යම් තරමකට හෝ ගැලවීමක් තියේවි කියා හදවතට දැනේ. ඉදිරියේ දී අනෙකුත් නාලිකා වලට ද මෙලෙසම ලිපි යැවීමට මම දැනට සිතාගෙන සිටිමි. එමෙන් ම ඊ මේල් මාර්ගයට අමතරව තැපෑල මගින් ලිපි යැවීම මගින් ද එම ආයතනයන් දැනුවත් කල හැකි බව මාගේ විශ්වාසයයි.
          ඔබට ද මේ පිළිබඳව හැඟීමක් තිබේ නම් තනි තනිව හෝ ක්‍රියාත්මක වන්න. තමාගේ මිතුරන් මෙම නාලිකාවල සේවයේ සිටී නම් ඔබට ඔවුන් දැනුවත් කල හැක. නැත්නම් ඊ මේල් හෝ තැපෑල මගින් හෝ එම ආයතන වලට මෙම තත්ත්වය දන්වා සිටීමට උත්සහ කරන්න. තනි පුද්ගලයෙක් ගනු ලබන ක්‍රියා මාර්ගයකට වඩා පිරිසක් විසින් යම් ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ නම් එය වඩා බලපෑමක් ඇති දෙයක් බවට පත්කල හැකි වනු ඇත. 

දෙරණ ආයතනය වෙත යැවීමට මා විසින් සකස් කරන ලද ලිපිය...

කලමණාකාර අධ්‍යක්ෂක,
Derana Macro Entertainment (Pvt) Ltd,
නො. 320,
ටී.බී. ජයා මාවත,
කොළඹ 10.

ගරු මහත්මයාණනි/ මහත්මියණි,
දමිල චිත්‍රපට විකාශනය කිරීම සම්බන්ධවයි

            වසර ගණනාවක සිට ටී.වී දෙරණ ආයතනය ජනතාවගේ හදවත් දිනාගත් වැඩසටහන් ඉදිරිපත් කරමින් ජනතාවට අතිශය සමීප වූ රූපවාහිනී නාලිකවක් බව දන්වනු ලබන්නේ ඉමහත් සතුටිනි. මෑතකදී ත් ඔබ ආයතනය විසින් විකාශනය කරන්නට යෙදුනු ශ්‍රී ගෞතම සම්බුද්ධ වැනි ටෙලි කතා හරහා රසවින්දනයට එහා ගිය අධ්‍යාත්මික දැක්මකුත් ජනතාව වෙත සමීප කරන්නට යෙදීම අතිශයින්ම ප්‍රශංසනීය කරුණකි. මනුසත් දෙරණ වැනි මාධ්‍ය කලාවටත් එහා ගිය ජනතාව වෙත වඩාත් සමීප සමාජ සුබසාධනයක් ද ඔබ ආයතනය මගින් සිදුවීමෙන් පෙනෙන්නේ ඔබ ආයතනය රටේ පොදුජනතාවගේ උන්නතිය වෙනුවෙන් කැපවෙන නාලිකාවක් බවයි.
            මෑතක සිට ටී.වී දෙරණ නාලිකාව හරහා සතියට කීප දිනක්ම දමිළ චිත්‍රපට විකාශනය වන බව දැකීමෙන් මගේ හිතට ද සියුම් සතුටක් ඇති වුනේ දවල් වරුවේ විවේක වේලාවට චිත්‍රපටයක් හෝ බැලීමට හැකි වන බව දැනීමෙනි. නමුත් කීප දිනක් එම චිත්‍රපට නැරඹූ මට ඇතිවූයේ සියුම් මානසික පීඩනයකි. පළිගැනීම්, ලේ වැගිරීම්, ඇනකොටා ගැනීම් හා රාගය ඉස්මතුකරවන දර්ශන දිගින් දිගට බැලීම නිසා මානසික ව්‍යාකූලත්වයක් ඇතිවන බව මට දැනෙන්නට පටන් ගත්තේය. එම නිසා එවැනි චිත්‍රපටි නැරඹීම මම නවතා දැමුවෙමි.
            නමුත් මෙහි ඇති බැරෑරුම් තත්ත්වය නම් මෙම චිත්‍රපට විකාශන කාලය පාසල් ළමුන් විශාල වශයෙන් රූපවාහිනිය නරඹන වේලාවක් වීමයි. පාසැල ඇරී ගෙදර පැමිණීමෙන් පසුව බත් පිගාන ද අතට ගෙන ඔවුන් කෙලින්ම ගොස් වාඩිවන්නේ රූපවාහිනිය ඉදිරිපිටය. ඔවුන් නරඹන වැඩසටහන් පාලනය කිරීමට බොහෝවිට දෙමාපියන් ද මෙම වේලාවේ දී නිවසේ නොමැත. එම නිසා තමාගේ මානසික තත්ත්වය පිළිබඳ ව එතරම් අවබෝධයක් නොමැති නොමේරූ වයස් වල සිටින ඔවුන් මෙම චිත්‍රපට වලට ඇබ්බැහි වීම නිසා මානසික ව්‍යාකූලත්වයට පත්වීමට ඉඩ ඇති බව මගේ හැඟීමයි.
            මෙම තත්ත්වය ඔබගේ නාලිකාවේ පමණක් සිදුවන දෙයක් නොවන බවද මෙහිදී මතක් කිරීමට කැමැත්තෙමි. එමෙන්ම මෙවැනි ලිපි ඉදිරියේ දී එම නාලිකා වලටද යැවීමට අදහස් කර ගෙන සිටිමි. දමිල චිත්‍රපටි පමණක් නොව සිංහල චිත්‍රපට විකාශනයේ දී පවා එම චිත්‍රපට වල අන්තර්ගතය සම්බන්ධයෙන් අවධානය යොමු කරන මෙන් ද ඔබගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
            අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙම චිත්‍රපටි වලට වෙන් කරන ගුවන් කාලය හරවත් අධ්‍යාපනික වැඩසටහන් (ඩිස්කවරි, නැෂනල් ජියොග්‍රැෆි වැනි), හරවත් සංවාදයන් හෝ උසස් සිනමා හෝ ටෙලි නිර්මාණයන් වෙනුවෙන් යොදාගතහොත් එය අප ළමා පරපුරට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික රසික ජනතාවට ම ආශිර්වාදයක් වන බවයි. සාරධර්ම පිරිහෙමින් විනාශය කරා ලගා වන ශ්‍රී ලාංකික සමාජය එයින් මුදවා ගැනීමට ඔබ වැනි මාධ්‍ය ආයතනයකට කල හැකි කාර්යයන් අතරට මෙම ලිපියෙන් මතුකළ කාරණා ද එක් කරගන්නා ලෙස මම කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මෙයට විශ්වාසී,

Source : http://thespiritscience.net/2014/08/17/what-can-you-possibly-learn-from-a-child/


3 comments:

  1. හිමල්..........................

    ඔබ විසින් දක්වන තර්කය ඉතා සාධාරණයි.. සහ මානුෂීයයි........... නමුත් වත්මන් වෙළද පොල ඉලක්ක කරගත් මුදල් හඹායන සමාජය සහ අායතනයන් මෙය පිළිනොගැනීම ද අමුත්තක් නොවේ............ ඒත් හිමාල් ඔබ වැනි අදහස් අැති පුද්ගලයින් මේ ලෝකය වෙනස් කිරීම කියන කාරණයේදී ඉතා වැදගත්................

    දිගට ම ලියන්න..................... මාසයකට ලිපියක් ලියලා මදි කියන තැනයි අපි ඉන්නේ.......... හැකිනම් දිගට ම ලියන්න.......... බ්ලොග් සගයන්ගේ බ්ලොග් පැත්තේ ඒන්න........... අපි මේ සංවාදය අනික් අය අතරට ගෙනියමු........................

    අද ඔබේ බ්ලොගය පුරා ගියා........... අගෙයි................ දිගට ම ඒන්න ෆලෝවර් පාරක් දාගත්තා................. දැන් ලියන ලියන පාරට ඒන්නම්.......................

    තව දෙයක්............. කමෙන්ටුවක් දාද්දි ඒන වර්ඩ් වෙරිෆිකේෂන් ද මොකක්ද කියන ඒක ඉවත් කරන්න......... නැතිනම් අපිට අපහසුයි....................

    ReplyDelete
  2. ඔයාගේ කමෙන්ට් එක ගොඩක් වටිනවා. මගේ බ්ලොග් එකට ලැබිච්ච පළවෙනි කමෙන්ට් එක :)
    ඔයා කියන දේ හරි. මුදල් පස්සේ දුවන මේ සමාජය තුල මනුස්සකම යට වෙලා ගිහින්..ඒත් මේ දේවල් වෙනස් කරන්න පුලුවන්ද බැරිද කියල නොදැන වුනත් අපිට සටන් කරන්න වෙලා තියෙනවා. මොකද මේ විදියට තව ටික කාලයක් ගියොත් අපිට ශිෂ්ඨ සම්පන්න රටක් නැතිම වෙලා යනවා. ඉදිරියේදී මම තවත් ලිපි පලකරන්නම්. වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කලා.. ආයිත් කියන්න තියෙන්නේ කමෙන්ට් එකට නම් බොහොම ස්තුතියි! :)

    ReplyDelete
    Replies
    1. හිමාල්..................

      දිගට ම ලියන්න... බ්ලොග්කරුවන් අතර ඔබට ම කියලා අයි ඩී ඒකක් හදාගන්න පුළුවන්.... ඒ සමාජය හරි වැදගත්.. බොහොම උගතුන් ටිකක් ඉන්නවා.. ඔබ විසින් ගොඩනගන්න යන ප්‍රතිරූපය ද අපිට වටිනවා.. ඔබට ම අාවේණික ක්‍රමයකට බ්ලොගය ලියන්න.... හැකි හැකි වෙලාවට ලියන්න....

      වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලාට ස්තූතියි....

      Delete

Blogger Widget